Press Statement
Sri Lanka: ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !
04 May, 2022ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හා වත්මන් ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණවල නිරත ක්‍රියාකාරීන්ට විවිධ චෝදනා නගමින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හා බියවැද්දීමට පොලිසිය ක්‍රියා කළ අවස්ථා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, අදහස් පළ කිරීමේ නිදහසට එරෙහි අනීතික ක්‍රියාකාරකම්වලින් වළකින ලෙස පොලිස්පතිවරයාටත් රජයටත් දැඩිව අවධාරණය කරයි.
ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ ජන විරෝධතාව මෙහෙයවමින් සිටින ජාතික සමාජ සංවර්ධන පදනමේ සභාපති සුරංග රූපසිංහ මහතාට මැයි 02 වෙනිදා දුරකතනයෙන් අමතා බියවද්දා ඇති කන්තලේ වාන්ඇල පොලිසියේ නිලධාරියෙක් “තමුසෙද මහලොකු මානව හිමිකම් කාරයා? අපේ ඕ අයි සී මහත්තයත් තමුසෙට බයේ ඉන්නේ. අපි තමුසෙ ගැන බලාගන්න ගෙදරට එන්නම්” යැයි පවසා ඇති අතර, අද (මැයි 03) ඔහුගේ නිවෙස අසල කන්තලේ වාන්ඇල පොලීසියේ ජීප් රථයක් නවතා, සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් ඔහු ආවේක්ෂණය කර තිබේ. මේ වන විට සුරංග රූපසිංහ මහතාගේ ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත.
මේ අතර, ගෝල්ෆේස් විරෝධතා ව්‍යාපාරයට සහභාගී වී ආණ්ඩුවට එරෙහිව ප්‍රසිද්ධියේ අදහස් පළ කළේ යැයි ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචිව සිටින තරුණයන් දෙදෙනෙකු යක්කල පොලිසිය මගින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන පහර දී තිබේ. එම තරුණයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත දැනුම් දී තිබෙන ආකාරයට, මෙම තරුණයන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට පොලිසිය මෙතෙක් අපොසත් වී ඇත. ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක නිවසට ගිය පොලිස් නිලධාරීන් ඔවුන්ගේ මෝටර් සයිකලය නීති විරෝධී ලෙස රැගෙන ගොස් ඇති අතර එය ලබාගැනීමට ගිය අවස්ථාවේ එම තරුණයන් අත්අඩංගුවට ගෙන තිබේ. “තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස් කට් දුන්නා නේද?” යනුවෙන් විමසමින් අපරාධ අංශයේ ප්‍රධාන නිලධාරියා තමන්ට පහර දුන් බව එම තරුණයන් පවසා ඇත.
ප්රජාතන්ත්රවාදී අයිතියක් වන විරෝධතා දැක්වීමට ඇති මහජන අයිතිය උල්ලංඝනය කිරීමට පොලීසියට බලයක් නොමැති අතර මෙම සිදුවීම් ඉතා බැරෑරුම් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒවා වාර්තා කිරීමට මෙන්ම නීතිඥ ප්‍රජාව හා අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිකයින් හා එක්ව අවශ්‍ය පියවර ගැනීමටද නිරන්තරයෙන් සූදානම්ව සිටී.
මෙවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු දැනුම් දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මහජනයාගෙන්ද ඉල්ලා සිටී.
Written By
Free Media Movement c/o SLPI, No 96, Kirula Road Colombo 05, Sri Lanka Telephone: +94 777 394 959 Fax: +94 11 257 3279
Comments
Resources
- IFJ South Asia Media Bulletin, February 2023 02/15/2023 Download
- IFJ South Asia Media Bulletin, January 2023 01/18/2023 Download
- Nepal Press Freedom report 2022 01/03/2023 Download